PDF —
182 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අස්-සාෆ්ෆාත් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අස්-සාෆ්ෆාත් pdf සිංහල — බාගත කරන්න සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය. සූරා අස්-සාෆ්ෆාත් (Meccan) 182 ආයාත්.

← යාසීන්සූරා අස්-සාෆ්ෆාත් සාද් →


182 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭑﭒﭓ
37:1 පෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්.
ﭔﭕﭖ
37:2 තවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්.
ﭗﭘﭙ
37:3 තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.
ﭚﭛﭜﭝ
37:4 නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥ
37:5 අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන්ය.
ﭦﭧﭨﭩﭪﭫﭬ
37:6 සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් නියත වශයෙන්ම අලංකාරවත් කළෙමු.
ﭭﭮﭯﭰﭱﭲ
37:7 තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
37:8 උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.
ﭽﭾﭿﮀﮁﮂ
37:9 (එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊ
37:10 (රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘ
37:11 “මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු.
ﮙﮚﮛﮜ
37:12 නමුත් නුඹ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
ﮝﮞﮟﮠﮡ
37:13 තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.
ﮢﮣﮤﮥﮦ
37:14 තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.
ﮧﮨﮩﮪﮫﮬﮭ
37:15 තවද ඔවුහු මෙසේ පවසා සිටි‍යෝය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
ﮮﮯﮰﮱﯓﯔﯕﯖ
37:16 “අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
ﯗﯘﯙ
37:17 “අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
ﯚﯛﯜﯝﯞ
37:18 අහෝ නබිවරය! “එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦ
37:19 නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
ﯧﯨﯩﯪﯫﯬ
37:20 තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴ
37:21 “නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
ﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
37:22 අපරාධ කළවුන් හා ඔවුන්ගේ ‍සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද..
ﯾﯿﰀﰁﰂﰃﰄﰅ
37:23 අල්ලාහ්ගෙන් තොර ව (ඔවුන් නමදිමින් සිටි දෑ දඑක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
ﰆﰇﰈﰉﰊ
37:24 තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
ﭑﭒﭓﭔﭕ
37:25 නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).
ﭖﭗﭘﭙﭚ
37:26 එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
ﭛﭜﭝﭞﭟﭠ
37:27 තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
ﭡﭢﭣﭤﭥﭦﭧ
37:28 නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝය.
ﭨﭩﭪﭫﭬﭭ
37:29 “එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝය.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
37:30 තවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහුය.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁ
37:31 එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
ﮂﮃﮄﮅﮆ
37:32 තවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.
ﮇﮈﮉﮊﮋﮌ
37:33 එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
ﮍﮎﮏﮐﮑ
37:34 නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
37:35 “අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසනු ලැබූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝය.
ﮝﮞﮟﮠﮡﮢﮣ
37:36 තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.
ﮤﮥﮦﮧﮨﮩ
37:37 නමුත් ඔහු (මුහම්මද්) සත්යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේය.
ﮪﮫﮬﮭﮮ
37:38 නියත වශයෙන්ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.
ﮯﮰﮱﯓﯔﯕﯖ
37:39 තවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.
ﯗﯘﯙﯚﯛ
37:40 නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
ﯜﯝﯞﯟﯠ
37:41 හඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහුමය.
ﯡﯢﯣﯤ
37:42 පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.
ﯥﯦﯧﯨ
37:43 (ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය.
ﯩﯪﯫﯬ
37:44 යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
ﯭﯮﯯﯰﯱﯲ
37:45 (සුරා)උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ.
ﯳﯴﯵﯶ
37:46 එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾ
37:47 එහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නොවෙති.
ﯿﰀﰁﰂﰃ
37:48 තවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
ﰄﰅﰆﰇ
37:49 නියත වශයෙන්ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
ﰈﰉﰊﰋﰌﰍ
37:50 එමෙන්ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
ﰎﰏﰐﰑﰒﰓﰔﰕ
37:51 නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
ﭑﭒﭓﭔﭕ
37:52 නියත වශයෙන්ම නුඹ (විනිශ්චය දිනය) සත්ය කරන්නන් අතරින් කෙනෙකුදැ?යි ඔහු විමසයි.
ﭖﭗﭘﭙﭚﭛﭜﭝ
37:53 අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ?(යි ද ඔහු විමසයි.)
ﭞﭟﭠﭡﭢ
37:54 නුඹලා ඔහුව එබී බලන්නේ දැයි ඔහු (අල්ලාහ්) විමසයි.
ﭣﭤﭥﭦﭧﭨ
37:55 එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
ﭩﭪﭫﭬﭭﭮ
37:56 අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පැවසයි.
ﭯﭰﭱﭲﭳﭴﭵ
37:57 මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.
ﭶﭷﭸﭹ
37:58 එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?
ﭺﭻﭼﭽﭾﭿﮀ
37:59 අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
ﮁﮂﮃﮄﮅﮆ
37:60 නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
ﮇﮈﮉﮊﮋ
37:61 මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
ﮌﮍﮎﮏﮐﮑﮒ
37:62 සංග්‍රහයෙන් ශ්රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?
ﮓﮔﮕﮖﮗ
37:63 නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
ﮘﮙﮚﮛﮜﮝﮞ
37:64 නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.
ﮟﮠﮡﮢﮣ
37:65 එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
ﮤﮥﮦﮧﮨﮩﮪ
37:66 එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓ
37:67 පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
ﯔﯕﯖﯗﯘﯙ
37:68 පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.
ﯚﯛﯜﯝﯞ
37:69 නියත වශයෙන්ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.
ﯟﯠﯡﯢﯣ
37:70 තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති.
ﯤﯥﯦﯧﯨﯩ
37:71 ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.
ﯪﯫﯬﯭﯮ
37:72 තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
ﯯﯰﯱﯲﯳﯴ
37:73 අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි මැනවින් බලනු.
ﯵﯶﯷﯸﯹ
37:74 අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).
ﯺﯻﯼﯽﯾﯿ
37:75 තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්රේෂ්ඨයින් වූයෙමු.
ﰀﰁﰂﰃﰄﰅ
37:76 තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
ﭑﭒﭓﭔﭕ
37:77 තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.
ﭖﭗﭘﭙﭚ
37:78 තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
ﭛﭜﭝﭞﭟﭠ
37:79 ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!
ﭡﭢﭣﭤﭥ
37:80 නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
ﭦﭧﭨﭩﭪ
37:81 නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
ﭫﭬﭭﭮ
37:82 පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
ﭯﭰﭱﭲﭳﭴ
37:83 තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්.
ﭵﭶﭷﭸﭹﭺ
37:84 සන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
ﭻﭼﭽﭾﭿﮀﮁ
37:85 ‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﮂﮃﮄﮅﮆﮇ
37:86 “අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
ﮈﮉﮊﮋﮌ
37:87 “එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
ﮍﮎﮏﮐﮑ
37:88 එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේය.
ﮒﮓﮔﮕ
37:89 පසුව ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.
ﮖﮗﮘﮙ
37:90 (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝය.
ﮚﮛﮜﮝﮞﮟﮠ
37:91 පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය.
ﮡﮢﮣﮤﮥ
37:92 නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?
ﮦﮧﮨﮩﮪ
37:93 පසු ව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.
ﮫﮬﮭﮮ
37:94 එවිට (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝය.
ﮯﮰﮱﯓﯔ
37:95 එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේය.
ﯕﯖﯗﯘﯙ
37:96 තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේය.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡ
37:97 “ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
ﯢﯣﯤﯥﯦﯧ
37:98 එවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
ﯨﯩﯪﯫﯬﯭﯮ
37:99 “නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේය.
ﯯﯰﯱﯲﯳﯴ
37:100 මාගේ පරමාධිපතියාණනි! මා හට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේය.)
ﯵﯶﯷﯸ
37:101 එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕ
37:102 ඔහු (ඉබ්රාහීම්) සමග වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.
ﭑﭒﭓﭔﭕ
37:103 පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.
ﭖﭗﭘﭙ
37:104 තවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
ﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
37:105 “සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
ﭣﭤﭥﭦﭧﭨ
37:106 නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.
ﭩﭪﭫﭬ
37:107 තවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
ﭭﭮﭯﭰﭱ
37:108 තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
ﭲﭳﭴﭵ
37:109 “ඉබ්රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”
ﭶﭷﭸﭹ
37:110 අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
ﭺﭻﭼﭽﭾ
37:111 නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
ﭿﮀﮁﮂﮃﮄ
37:112 තවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
37:113 තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.
ﮑﮒﮓﮔﮕﮖ
37:114 තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
ﮗﮘﮙﮚﮛﮜ
37:115 තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්යසනයෙන් මුදවා ගත්තෙමු.
ﮝﮞﮟﮠﮡ
37:116 තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ.
ﮢﮣﮤﮥ
37:117 තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
ﮦﮧﮨﮩ
37:118 තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
ﮪﮫﮬﮭﮮ
37:119 තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
ﮯﮰﮱﯓﯔ
37:120 තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
ﯕﯖﯗﯘﯙ
37:121 නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්යාග පිරිනමනුයේ එලෙසය.
ﯚﯛﯜﯝﯞ
37:122 නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.
ﯟﯠﯡﯢﯣ
37:123 තවද නියත වශයෙන්ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි.
ﯤﯥﯦﯧﯨﯩ
37:124 “නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
ﯪﯫﯬﯭﯮﯯ
37:125 “මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා බඅල් නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
ﯰﯱﯲﯳﯴﯵ
37:126 ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
ﭑﭒﭓﭔ
37:127 නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. සැබැවින්ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති.
ﭕﭖﭗﭘﭙ
37:128 නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
ﭚﭛﭜﭝﭞ
37:129 තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
ﭟﭠﭡﭢﭣ
37:130 ඉල්යාසීන් වෙත ශාන්තිය අත්වේවා!
ﭤﭥﭦﭧﭨ
37:131 නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
ﭩﭪﭫﭬﭭ
37:132 නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
ﭮﭯﭰﭱﭲ
37:133 තවද නියත වශයෙන්ම ලූත් ධර්ම දූතයින් අතරිනි.
ﭳﭴﭵﭶﭷ
37:134 ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
ﭸﭹﭺﭻﭼ
37:135 ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය).
ﭽﭾﭿﮀ
37:136 පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.
ﮁﮂﮃﮄﮅ
37:137 තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.
ﮆﮇﮈﮉﮊ
37:138 රාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?
ﮋﮌﮍﮎﮏ
37:139 තවද නියත වශයෙන්ම යූනුස් ධර්ම දූතයින් අතරිනි.
ﮐﮑﮒﮓﮔﮕ
37:140 පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
ﮖﮗﮘﮙﮚ
37:141 එවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය.
ﮛﮜﮝﮞﮟ
37:142 පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.
ﮠﮡﮢﮣﮤﮥ
37:143 නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නොවී නම්,
ﮦﮧﮨﮩﮪﮫﮬ
37:144 ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
ﮭﮮﮯﮰﮱﯓ
37:145 එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
ﯔﯕﯖﯗﯘﯙ
37:146 තවද අපි ඒ මත වැල් වලින් යුත් ගසක් හට ගැන්වූයෙමු.
ﯚﯛﯜﯝﯞﯟﯠ
37:147 තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු.
ﯡﯢﯣﯤﯥ
37:148 එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
ﯦﯧﯨﯩﯪﯫ
37:149 පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැයි යන්න වග (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.
ﯬﯭﯮﯯﯰﯱﯲ
37:150 එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
ﯳﯴﯵﯶﯷﯸ
37:151 දැනගනු! නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ..
ﯹﯺﯻﯼﯽ
37:152 අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
ﯾﯿﰀﰁﰂ
37:153 ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?
ﭑﭒﭓﭔﭕ
37:154 නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
ﭖﭗﭘ
37:155 නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
ﭙﭚﭛﭜﭝ
37:156 නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?
ﭞﭟﭠﭡﭢﭣ
37:157 එසේ නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
37:158 තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින්ම දැනගත්තෝය.
ﭰﭱﭲﭳﭴ
37:159 ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
ﭵﭶﭷﭸﭹ
37:160 නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
ﭺﭻﭼﭽ
37:161 එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි...
ﭾﭿﮀﮁﮂ
37:162 නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.
ﮃﮄﮅﮆﮇﮈ
37:163 නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.
ﮉﮊﮋﮌﮍﮎﮏ
37:164 අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේමය.
ﮐﮑﮒﮓ
37:165 තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.
ﮔﮕﮖﮗ
37:166 තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)
ﮘﮙﮚﮛ
37:167 තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය.
ﮜﮝﮞﮟﮠﮡﮢ
37:168 (එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්,
ﮣﮤﮥﮦﮧ
37:169 සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)
ﮨﮩﮪﮫﮬﮭ
37:170 නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
ﮮﮯﮰﮱﯓﯔ
37:171 තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.
ﯕﯖﯗﯘ
37:172 නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.
ﯙﯚﯛﯜﯝ
37:173 තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
ﯞﯟﯠﯡﯢ
37:174 එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
ﯣﯤﯥﯦ
37:175 තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
ﯧﯨﯩ
37:176 එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
ﯪﯫﯬﯭﯮﯯﯰ
37:177 පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
ﯱﯲﯳﯴﯵ
37:178 තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත් ව සිටිනු.
ﯶﯷﯸﯹ
37:179 තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
ﯺﯻﯼﯽﯾﯿﰀ
37:180 ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
ﰁﰂﰃﰄ
37:181 තවද සියලුම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
ﰅﰆﰇﰈﰉ
37:182 තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers